හමාර බණවර
- sajini gamage
- Feb 27, 2021
- 2 min read

ගීතය වනාහී සිත්පිත් නොමැති මිනිසුන්හටත්, ආදරණීය ලෙස ආමන්ත්‍රණය කළ හැකි සොදුරු කලාවකි. එවන් අභිමානවත් කලාවක් තුළ මාගේ චිත්ත සන්තානය යම් රසයකින් ශෝකාන්තයට කැටුව ගිය එක් නූතන ගීතයක් ඔබ සමඟ බෙදාගන්නට ඉතින් මට අවසර,
ඉරේෂා හේමමාලි මහත්මියගේ අතින් ලියවූ රවී රොයිස්ටර් නම් නූතන ගායකයා අතින් සංගීතවත් වී ගායනා කරන “හමාර බණවර” ගීතය නූතන ගීත කලාවේ නැවුම් හැරවුම් ලක්ෂයක් ලෙස පෙන්වා දිය හැකි ය. පියෙකු වෙනුවෙන් කවි ගි ලියැවෙන්නේ තවමත් සුළු ප්‍රමාණයකි. එවන් කාලයක මෙවැනි ගීතයක් රචනා කිරීම ඉතා අගනා අගය කළ හැකි කර්තව්‍යයකි. ආදරණීය පියෙකුගේ ආමන්ත්‍රණය ගීතය පුරාම දිව යයි. පියා මියගියත් පියාගේ ආමන්ත්‍රණයන් පුතුට දැනෙන හැඟෙන ආකාරයක් ඉස්මතු වී පෙනෙයි.

අනේක දුක් විඳිමින් දරුවන්ගේ ජීවිත සැපවත් කිරීමට පියවරුන් දරණ උත්සාහය ඇතැම් විට දරුවන්ට නොදැනේ, නොහැඟේ... මෙහිදී පියා සුවිසල් මෙහෙවරක් තම පුතු හට ඉටුකොට නික්ම යන්නට සැරසේ... එවන් මොහොතක වුවත් තමන්ගේ බර පුතුගේ කරමත තබන්නට පියා සූදානම් නැත. පිය සෙනෙහස මෙය නොවේද.
“පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සේ එනවා
තනිව ආ ගිය මගේ
කවමදාවත් මගේ බර
උඹේ කරේ තිබ්බෙ නෑ පුතේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් නුඹේ"
පියා පුතු කුඩා කාලයේ පටන් සියලු දුක් දෝමනස්සයන් තනිව උහුලා යහපත් පුද්ගලයෙකු ලෙස සමාජයට යැවීමට අති මහත් උත්සාහයක් දරා ඇති බව මනාවට පිළිබිඹු වේ. කිසිදු පියකු තමන් ඉහිලූ බර දරුවන්ට කිසිදා නොදෙන බව කවියා සියුම්ව උකහා දක්වයි.
“කවමදාවත් මගේ බර
උඹේ කරේ තිබ්බෙ නෑ පුතේ”
යන පද පේළිය ඉහත කාරණාව තහවුරු කරයි.
ප්‍රියයන් හා එක් වී සිනාමුසු මුහුණින් දිවී ගෙවීමටත් ලෞකික සැපයෙන් දිවි ගෙවන්නට මිනිසා දක්වන්නේ මනා අභිරුචියකින් මෙම ගීතයේ පියා බිරිඳ, දරුවන් සමග සතුටින් ගෙවූ කාලයට ආදරය කළ ද සොබා දහමේ නියමයන්ට යටත්ව, සියල්ල අනිත්‍ය බව මෙනෙහි කරමින් නුපුරුදු ලෝකයට යාමට තම සිත එකඟ කර ගන්නා ආකාරය හුදී ජනයාට මනා උපදේශයක් සපයයි.
“කන්ද පාමුල සොහොන හුරු නෑ
දන්නවා මං මයේ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුර ගන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං"
ග්‍රාමීය ජනයා එකිනෙක හා සුහදත්වයෙන් යුතුව ජීවත් වීමට පුරුදු වූ කොට්ඨාසයකි. මෙහි “මගේ තනියට තවත් අය ඇති අඳුරගන්නම් හෙට උදේ” යන කියමනෙන් පියා සුහදත්වය ප්‍රගුණ කළ සොඳුරු මිනිසෙකු බව මනාවට පෙනී යයි. යුතුකම් වගකීම් මනාවට හඳුනන මිනිසා මරණය තෙක් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් වගකීම් පවුලට සමාජයට නොපමාව ඉෂ්ට කරයි. මෙහි ගීතය පුරාවට සැරිසරන පියා ද තම වගකීම් යුතුකම් නොපිරිහෙළා ඉටු කළ බව විද්‍යාමාන වේ. තම පුතුට කරන අවසාන ආදරණීය නියෝගය තුළින් උකහා ගත හැකිය. යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් පලයන් අම්මගේ

ආදරණීය පියාණන් කෙනෙකුගේ දුක්බර නික්ම යාමත්, අනිත්‍යභාවයත් පියෙකුගේ මෙහෙවර යම්තාක් උකහා ගැනීමටත් හැකි පරිදි රචකයා භාෂාව අලංකාරවත් ලෙස යොදාගෙන ඇත. නිසදැස් කවි ආරත්, සරල බස් වහරත්, ආමන්ත්‍රණ බස්වහරත් ගීතයට අලංකාරයක් මෙන්ම ආදරණීය භාවයක් එක් කොට ඇත. අනිත්‍ය භාවය පදනම් කරගෙන ගලා යන ගීතය සුවහසක් හුදී පාඨකයාගේ චිත්ත සන්තානය සියුම් ලෙස ස්පර්ශ කරන ආකාරය අපූරු ය.
ඉහත දැක් වූ සියල්ල හුදෙක් මාගේ පෞද්ගලික රසවින්දනය මත ලියවූවක් මෙන්ම, ඔබත් මෙම ගීතයට සවන් දී තමන්ටම හැඟෙන පරිදි විචාරශීලීව ගීතය රසවිඳින්නට මා ආරාධනා කරන ගමන් නික්ම යන්නම්, තවත් මෙවැනි සොඳුරු ගීතයක් මතින් හමුවන්නට අවසරයි...
ඡායාරූප අන්තර්ජාලය ඇසුරින්
ඉන්දු මදුමිකා
great work